Wednesday, May 8, 2024

General line - 0115112241

"දේශපාලනඥයින් ජනතාවට නිවරැදි පණිවුඩය නොදුන්නොත් කටයුතු යළිත් අඩාල විය හැකියි" - සෞඛ්‍ය අංශ කියයි




සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කොළඹ, ගම්පහ ඇතුලූ සියලූ දිස්ති‍්‍රක්ක අතර මගී ප‍්‍රවාහන සේවා අද (08) ආරම්භ වුණා. ඒ අනුව ලංගම හා පෞද්ගලික බස් රථ මෙන්ම දුම්රිය සේවා ද සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මක වන බවයි මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පැවසුවේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ දිවයිනේ සියලූ ප‍්‍රදේශවල ලංගම බස් රථ ධාවනය අද උදෑසන සිට ආරම්භ කෙරුණු බවයි. 

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ පුද්ගලික බස්රථවලින් සියයට 60 කට වැඩි ප‍්‍රමාණයක් අද දිනයේ ධාවනය කෙරෙනු ඇති බවයි.

බස්රථ තුළ ගමන් කිරීමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙස ද මගීන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය කිහිපයක් හැර සෙසු සියලූ දුම්රියන් අද සිට ධාවනයට එක් කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර බස්නාහිර පළාත තුළ බස් ප‍්‍රමුඛතා මංතීරු නීතිය අද සිට යළි කි‍්‍රයාත්මක වනවා. පළමු අදියර යටතේ මොරටුව සිට රත්මලාන දක්වාත්, වැල්ලවත්ත සැවෝයි සිනමා හල අසල සිට කොල්ලූපිටිය ධර්මපාල මාවත, කොම්පඤ්ඤවීදිය, කුමාර් රත්නම් පාර සහ රීගල් වටරවුමේ සිට පිටකොටුව දක්වාත් බස් ප‍්‍රමුඛතා මංතීරුව ක‍්‍රියාත්මක කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පැවසුවේ සෑම දිනකම උදෑසන 6.00 සිට 9.00 දක්වා කොළඹට දෙසටත්, සවස 4.00 සිට 7.00 දක්වා කොළඹින් පිටතටත් මෙම බස් ප‍්‍රමුඛතා මංතීරුව ක‍්‍රියාත්මක කෙරෙන බවයි.

අද සිට සති දෙකක කාලයක් බස් ප‍්‍රමුඛතා මංතීරුව පිළිබඳ රියදුරන් දැනුවත් කෙරෙනවා. එළඹෙන 22 වනදා සිට බස් ප‍්‍රමුඛතා මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ වැඩිදුරටත් සඳහන් කළා.

පොදු මගී ප‍්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මක වීමත් සමග මගී ජනතාව සෞඛ්‍ය උපදෙස් වඩාත් දැඩිව පිළිපැදිය යුතු බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

නව්‍ය කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කියා සිටියේ රටේ නායකයින් සහ දේශපාලනඥයින් නිවරැදි පණිවුඩ ජනතාවට දිය යුතුව ඇති බවත් පසුගිය දිනෙක දේශපාලනඥයෙකුගේ අවමංග්‍ය අවස්ථාවකදී ඉතාමත් වැරදි ආකාරයට ඒ අවස්ථාවේ හැසිරීම් නිරීක්ෂණය වූ බවයි සඳහන් කෙරුණේ.