Wednesday, May 8, 2024

General line - 0115112241

මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු තත්ත්වයක් තවමත් රට තුළ නැහැ - ජවිපෙ




මහමැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු තත්ත්වයක් තවමත් රට තුළ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

කෙසේ වෙතත්, මහමැතිවරණය පවත්වන දිනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ජාතික ජන බලවේගයේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ආරම්භ කරන බව ද ඔහු කියා සිටියා.

මේ වනවිටත් මහමැතිවරණය සඳහා බිම් මට්ටමේ සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

ඒ පිළිබඳ අදහස් දැක්වූ, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයා ගමගේ කියා සිටියේ මෙම අවස්ථාවේදී වෙනදා මෙන් මැතිවරණ ව්‍යාපාරය සිදු කිරීමට නොහැකි බවත් සමාජ මාධ්‍ය සහ වෙනත් අලුත් ක්‍රම ඔස්සේ මෙවර මැතිවරණ ව්‍යාපාරය සිදු කිරීම සඳහා සොයා ගැනීමට සිදුවෙන බවයි. 

සමගි ජන බලවේගයේ මැතිවරණ සූදානම පිළිබඳ එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර මෙලෙස අදහස් පළ කළා.

එහිදී "අපේ සන්නිවේදන අංශය සමාජ මාධ්‍ය හරහා හොද ඡාලයක් ඇති කරලා තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් සහ ගම් මට්ටමින් අපි මේ වන විටත් අවශ්‍ය කමිටු ඇති කරලා තියෙනවා." යනුවෙන් සඳහන් කළා.

මේ අතර  මහමැතිවරණය පැවැත්වීම සඳහා තවත් පෙරහුරු පැවැත්වීම අවශ්‍ය නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මැතිවරණ කොමිසම රට ගැන අවධානය යොමු කර මහමැතිවරණය කඩිනමින් පැවැත්වීමට දින නියම කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.