Sunday, May 5, 2024

General line - 0115112241

තරග පාවාදීමේ ප‍්‍රකාශය අසත්‍ය නම් කී‍්‍රඩා වැරදි පනතට අනුව මහින්දානන්දට දඬුවම්




2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකාව තරග පාවාදුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශය මේවනවිට බොහෝදෙනාගේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ඉකුත් වසරේදී සම්මත කර ගැනුණු 2019 අංක 24 දරණ කී‍්‍රඩාවල වැරදි දූෂණ වැළැක්වීමේ පනත යටතේ එවැනි තරග පාවාදීමක් සිදුව ඇත්නම්, අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගත හැකිද යන්න පිළිබඳව ද විවිධ අදහස් පළ වනවා.

ඒ, සම්බන්ධයෙන් නෙත් ස්පෝට්ස්මන් කී‍්‍රඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක, නීතීඥ පණ්ඩුක කීර්තිනන්දගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එවැනි තරග පාවාදීමක් සිදුව ඇත්නම් ඉකුත් වසරේදී සම්මත කර ගැනුණු අදාළ පනත යටතේ කි‍්‍රයාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බවයි. පනත සම්මත කිරීමට පෙර වූ සිද්ධියක් හේතුවෙන් එවැනි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට නොහැකි බවයි කී‍්‍රඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක, නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද ප‍්‍රකාශ කළේ. 

කෙසේවෙතත්, හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ප‍්‍රකාශය සාවද්‍ය නම් මෙම පනත හරහා ඔහුට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට හැකියාව පවතින බව ද, කී‍්‍රඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක, නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද නෙත් ස්පෝට්ස්මන් වෙත සඳහන් කළා.  

මේ අතර තරග පාවාදීමේ මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන ඊයේ තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ පිටියේ කී‍්‍රඩා කරන කී‍්‍රඩකයින් 11 දෙනා හැර ඉන් භාහිර වෙනත් අයෙකු තරගයක් පාවාදෙන්නේ කෙසේදැයි කිසිවෙකු නොදන්නා බවයි.

යම් අයෙකු 2011 ලෝක කුසලනා කි‍්‍රකට් තරගවලියේ අවසන් මහා තරගය මුදලට පාවාදුන් බවට චෝදනා කරන්නේ නම් එය බරපතල කරුණක් බව ද හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් පණිවිඩයෙන් දක්වා තිබෙනවා. කෙසේවෙතත්, වසර 09 කට පසු මෙවැන්නක් මතුකිරීම විමතියට කරුණක් බවයි ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් දක්වා තිබුණේ.