Sunday, April 28, 2024

General line - 0115112241

අමෙරිකාව කේෂ්ත්‍ර ගණනාවක රැකියා සඳහා ලබා දෙන වීසා පහසුකම් අත්හිටුවයි




විදේශීය ශ්‍රමිකයින්ට අමෙරිකාවට ඇතුල්වීම සඳහා ලබා දෙන වීසා පහසුකම් අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඒ අතරට ග්‍රීන් කාඩ් ලොතරැයි අනුව එරටට ඇතුල්වීමට අවකාශ හිමි කාණ්ඩ කිහිපයක්ද ඇතුලත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉහළ නිපුණතා ඇති තාක්ෂණික සේවකයින්, කෘෂිකාර්මික නොවන සහයකයින්, කුඩා දරුවන් බලා ගන්නා සේවකයින් සහ ප්‍රධාන පෙළේ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ට මෙම වීසා තහනම දැඩි සේ බලපානු ලබන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.

නව කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමිව ඇති අමෙරිකානු ජනතාවට මෙම පියවර ගැනීම හේතුවෙන් රැකියා සොයා ගැනීමට හැකිවනු ඇති බව ධවල මන්දිරය නිවේදනය කර සිටිනවා. මෙම වීසා තහනම මෙම වසර අවසානය වන තෙක් බලපැවැත්වෙනු ඇති.

මේ අනුව බලපෑමට ලක්වන ප්‍රධාන වීසා පහසුකම් පහත දැක්වෙනවා.

ඉන්දියානු තාක්ෂණික සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට වීසා ලබා දෙනු ලබන H-1B බලපත්‍ර ක්‍රමය ප්‍රධාන තැනක් ගනු ලබනවා. තාක්ෂණික සමාගම් වලට අඩු වැටුපකට සිය සේවාවන් සඳහා විදේශ තාක්ෂණික ශිල්පින් ලබා ගැනීමට තිබු හැකියාව මෙමගින් ඇහිරී යනු ඇති. මෙම විසා ක්‍රමය ලොතරැයි ක්‍රමයට ලබාදෙන අතර ඉකුත් වසරේදී පැවති ඇබෑර්තු 85,000ක් සඳහා ඉල්ලුම් පත් 225,000 ක් ඉදිරිපත් වී තිබුණා.

කෘෂි කර්මාන්තය, ආහාර සැකසුම් කර්මාන්තයන් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයින් හැර සංචාරක කර්මාන්තයන් ඇතුළු තාවකාලික රැකියා සඳහා ලබා දෙන H-2B වීසා ක්‍රමය ද අත්හිටුවා තිබෙනවා.

විශ්ව විද්‍යාල සිසුන් සහ ළමාරක්‍ෂක සේවා සපයන විදේශීය යුවලවල් සඳහා ලබා දෙන කෙටි කාලීන හුවමාරු J-1 වීසා ක්‍රමයද අත්හිටුවා ඇත. බහුජාතික සමාගම්වල කළමනාකරුවන් සහ අනෙකුත් ප්‍රධාන සේවකයින් සඳහා ලබා දෙන L වීසා ක්‍රමය ද අත්හිටුවා තිබෙනවා.

කොරෝනා වෛරසයට මුවාවී අමෙරිකානු ජනාධිපතිවරයා සංක්‍රමණික නීති දැඩි කිරිමට කටයුතු කරන බවට චෝදනා එල්ල වෙමින් පවතිනවා.