Monday, April 29, 2024

General line - 0115112241

ඩොනල්ඞ් ට‍්‍රම්ප් නිව් ජර්සි සංචාරය අවලංගු කරයි




නිරෝධායන නීතිවලට අනුගත වෙමින්, නිව් ජර්සි ප‍්‍රාන්තයේ බෙඞ්මින්ස්ටර් ගොල්ෆ් නිවාඩු නිකේතනයේ ගත කිරීමට සැලසුම් කර තිබූ සති අන්ත සංචාරය අවලංගු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ, නිව්යෝර්ක්, නිව් ජර්සි සහ කනෙක්ටිකට් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් තවත් ප‍්‍රාන්ත 08 ක සිට පැමිණෙන පුද්ගලයින්ට දින 14 ක අනිවාර්ය නිරෝධායනයක් නියම කර තිබීම හේතුවෙන්. 

මේ සතිය ආරම්භයේදී ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇරිසෝනා ප‍්‍රාන්තයේ සංචාරයක නිරත වුණා. නිව්යෝර්ක්, නිව් ජර්සි සහ කනෙක්ටිකට් ප‍්‍රාන්තවලින් නිරෝධායන සීමා පැනවූ ප‍්‍රාන්ත අතරට ඇරිසෝනා ප‍්‍රාන්තය ද ඇතුළත් වන බැවින් එහි සිට එම ප‍්‍රාන්ත තුනට පැමිණෙන සංචාරකයින්ට ද දෙසතියක නිරෝධායනය අනිවාර්ය වනවා.

ධවල මන්දිර මාධ්‍ය ප‍්‍රකාශක ජඞ් ඩියර් පසුගිය 25 වනදා ප‍්‍රකාශ කළේ, ඇරිසෝනා ප‍්‍රාන්තයේ සංචාරයෙන් පසු මේ සති අන්තයේ නිව් ජර්සි ප‍්‍රාන්තයට පැමිණීමට නියමිතව සිටින ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එම නිරෝධායන නීති බලපැවැත්වෙනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි. 

කෙසේ වෙතත්, බොහෝ අවස්ථාවල නිරෝධායන නීති නොතකමින් කටයුතු කළ අමෙරිකානු ජනාධිපතිවරයා, මෙවර එම නීතිවලට ගරු කරමින් නිව් ජර්සි සංචාරය අවලංගු කිරීම බොහෝදෙනාගේ විමතියට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
ව්‍යාපාර ස`දහා නිරෝධායන සීමා ලිහිල් කිරීමත් සමග මේ වනවිට අමෙරිකාවේ ප‍්‍රාන්ත 16 ක කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ද ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන විසිපන්ලක්ෂ 52,956 ක්. කොරෝනා මරණ එක්ලක්ෂ 27,640 ක් ද අමෙරිකාවෙන් වාර්තා වනවා.