Monday, April 29, 2024

General line - 0115112241

කොරෝනා මැඩලූ ටියුනීසියාව දේශසීමා විවෘත කරයි




ටියුනීසියාවේ ගොඩබිම් සහ මුහුදු ඇතුළු සියලූ දේශසීමා අද විවෘත කෙරුණා. කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දැමුණු එරට දේශසීමා අද විවෘත කෙරුණේ මාස 03 කට පසුවයි. ටියුනීස් කාර්තේජ් ගුවන් තොටුපළේ ඇතැම් මෙහෙයුම් අද ආරම්භ කෙරුණු අතර රෝමය, ජීනීවා සහ පැරිස් දක්වා ගුවන් ගමන් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

රට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ බව ටියුනීසියානු රජය නිවේදනය කළේ පසුගිය 14 වනදායි. ගමනාගමන සහ ව්‍යාපාර සඳහා පනවා තිබූ සියලූම නිරෝධායන සීමා ද එදින සිට ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබුණා. මාස තුනකට අධික කාලයක් රට සම්පූර්ණයෙන් වසා තැබීම හේතුවෙන් ටියුනීසියාවේ සංචාරක ක්ෂේත‍්‍රයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක් පමණ උපයනු ලබන්නේ සංචාරක ක්ෂේත‍්‍රයෙන් වීම ඊට හේතුවයි. සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන සම්පූර්ණයෙන්ම වසා තැබීම හේතුවෙන් පසුගිය වසරේ මුල් මාස පහ තුළ ටියුනීසියාව ඉපැයූ සංචාරක ආදායම, මේ වසරේ මුල් මාස පහ තුළ සියයට 50 කින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් සංචාරක ක්ෂේත‍්‍රය යළි පෙර පරිදි නගා සිටුවීමේ ක‍්‍රමවේද කෙරෙහි ටියුනීසියානු රජයේ අවධානය යොමුව තිබෙනවා.