Friday, May 10, 2024

General line - 0115112241

මෝසම් වැසි නිසා ඉන්දියාවේ කොරෝනා අවදානම තවදුරටත් ඉහළට




ඉන්දියාවට බලපා ඇති අධික මෝසම් වර්ෂාව හේතුවෙන් එරට කොරෝනා අවදානම තවදුරටත් ඉහළගොස් තිබෙනවා. ඒ හේතුවෙන් එරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේ වාර්තා වුණා. ඊයේ දිනය තුළ පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 22,721 ක්. එම කාලය තුළ කොරෝනා මරණ 444 ක් ද ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. 

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන හයලක්ෂ 51,065 ක්. ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රටවල් අතර මේ වනවිට ඉන්දියාව පසුවන්නේ සිව්වන ස්ථානයේයි. ඉහළම කොරෝනා ආසාදිතයින් වාර්තා වන ආසියානු රට වන්නේ ද ඉන්දියාවයි. 

මෝසම් වර්ෂාව ඉදිරි පැය 48 තුළ ද ධාරානිපාත ලෙස පැවතිය හැකි බැවින්, වෙරළ තීරයෙන් හැකිතාක් ඈත්ව සිටින ලෙසයි ඉන්දීය රජය මුම්බායි නගර වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ. සෑම වසරකම මෝසම් වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටවන අතර, මෙවර ඒ හේතුවෙන් කොරෝනා ආසාදිතයින් ගණන තවත් සීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බවයි එරට සෞඛ්‍ය බලධාරීන් අනුමාන කරන්නේ. පවතින වසංගත තත්ත්වය හමුවේ ගංවතුරින් වාසස්ථාන අහිමි වූවන් තාවකාලික මධ්‍යස්ථාන කරා යොමු කිරීම ද අර්බුදකාරී වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.