Friday, May 10, 2024

General line - 0115112241

ඉරානයේ මිලියන 25 කට කොරෝනා : ජනාධිපති හසන් රුහානි ප්‍රකාශ කරයි




ඉරානයේ පුද්ගලයින් මිලියන 25 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් තවත් මිලියන 30 ක ජනතාව වෛරසයට ගොදුරු වීමේ අවධානමක් ඇතිවී තිබෙන බව එරට ජනාධිපති හසන් රුහානි ප්‍රකාශ කර සිටිනවා.

ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් පදනම් කර ගනිමින් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ.

මින් පෙර ඉරානයේ කොවිඩ් 19 වසංගතය ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව ලෙස සඳහන්ව තිබුණේ 269,440ක් බවයි.

කෙසේ වුවත් මෙම සංඛ්‍යා ලේඛන වෙනස් වුයේ කෙසේද යන්න ගැන ඉරාන ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී හෙළිකර සිටියේ නැහැ.

මිලියන 80කට වඩා අධික ජනගහණයක් සිටින ඉරානය කොවිඩ් 19 වසංගතයෙන් දැඩි සේ පිඩා විදින මැද පෙරදිග පිහිටි රට ද වනවා.

" මේ වන විට තිබෙන වාර්තා අනුව මිලියන 25 ක ඉරාන ජනතාවක් වෛරසය ආසාදනය වී තිබෙන අතර තවත් මිලියන 30-35ත් අතර ප්‍රමාණයක ජනතාවක් ඊට ගොදුරු වීමේ අවධානමෙන් පසුවනවා.

මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 14,000ක්. ලක්ෂ 02 ක් පමණ රෝගීන් රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා" යැයි ඉරාන ජනාධිපතිවරයා රුපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ.