Sunday, May 5, 2024

General line - 0115112241

රාජාංගණයේ අවමංගල්‍ය උත්සවයට ගිය දේශපාලඥයින් තිදෙනෙකු තවමත් කරන දේ ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙළිකරයි 




රාජාංගණය ප්‍රදේශයේ ඉකුත් දා පැවති කොරෝනා ආසාදිත කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සහභාගිවූ අවමංගල්‍ය උත්සවයට පැමිණි දේශපාලඥයින් සිව්දෙනාගෙන්, තිදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් නොවී මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

“ ඒ අවමංගල්‍ය උත්සවයට දේශපාලඥයින් සිව්දෙනෙක් සහභාගිවුණා. එයින් දැනට නිරෝධායනය වෙමින් සිටින්නේ එක් දේශපාලඥයෙක් පමණයි. අනෙක් තිදෙනාම මේ වන විටත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නියැලී සිටිනවා" ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

නිරෝධායන නීති ගැසට් කිරිමේදී ඇතිවූ ගැටළු සහගත තත්ත්වය හේතුවෙන් කොවිඩ් 19 ඇතුළු බෝවන රෝග මර්ධන රාජකාරි වලින් ඉවත්ව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග සාකච්ජා කළ බවත් එය විසඳුවේ නැත්නම් ඉදිරියේදී මිට වඩා ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවෙනු ඇති බවද කියා සිටියා.

ගැසට් නිවේදනයට අදාළ ගැටලුව නිරාකරණය කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරියට අවශ්‍යතාවයක් තිබුනත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඊට ඉඩ නොදෙන බවක් දක්නට ලැබෙන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.