Tuesday, May 14, 2024

General line - 0115112241

ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් වාර්තා පොත් අතරට




ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ කඩුලූ 600 ක් දවාගත් ලොව පළමු වේග පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමට එංගලන්ත කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණා. 

ඒ, සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තුන්වන හා අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදීයි. පාකිස්ථාන කණ්ඩායමේ නායක අසාර් අලීගේ කඩුල්ල දවාගනිමින් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලූ 600 සීමාවට ළඟා වුණා. 

එම තරඟයේ පළමු ඉනිමේදී කඩුලූ 05 ක් දවාගත් ඇන්ඩර්සන් දෙවන ඉනිමේදී දවාගත් කඩුලූ ගණන 02 ක්. ජේම්ස් ඇන්ඩර්සන් කඩුලූ 600 සීමාව පසුකර ගියේ ටෙස්ට් තරඟ 156 කදීයි. ඒ අනුව ජේම්ස් ඇන්ඩර්සන් පසුවන්නේ ලොව වැඩිම ටෙස්ට් කඩුලූලාභීන්ගේ ලැයිස්තුවේ සිව්වන ස්ථානයේයි. 

ටෙස්ට් කඩුලූ 800 ක් දවාගත් ශී‍්‍ර ලංකාවේ මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලූ ලාභීන් අතර පළමුවන ස්ථානයේ රැඳි සිටිනවා.

මේ අතර, එංගලන්තය සහ පාකිස්ථානය අතර පැවති තුන්වන හා අවසන් ටෙස්ට් තරඟය නිමාවට පත් වුණේ විසඳුමකින් තොරවයි. එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 08 ක් දැවී ලකුණු 583 ක් රැස් කළා. පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 273 කට දැවී ගිය අතර දෙවෙනි ඉනිම වෙනුවෙන් තරඟය අවසන් වන විට කඩුලූ 04 ක් දැවී ලකුණු 187 ක් රැස්කරගෙන සිටියා. 

ඒ අනුව 1 ට බින්දුවක් ලෙස එංගලන්ත කණ්ඩායමට ජය හිමි කර දෙමින් දෙරට අතර තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය නිමාවට පත් වුණා.