Saturday, May 4, 2024

General line - 0115112241

මත්ස්‍ය ආනයන වියදම් සීමා කිරීමට අංශ කිහිපයක් යටතේ සැලසුම් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්




මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව රජය ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.

ධීවර කර්මාන්තය මගින් රටේ දළ දේශීය නිෂ්පාදනයට මෙතෙක් ලබාදී ඇති දායකත්වය සියයට එකක්. රට වටා මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ප‍්‍රයෝජන ගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තය පත්විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.

විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන් එහිදී පෙන්වා දුන්නේ විසිතුරු මත්ස්‍ය වර්ග 700 කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කිරීමේ හැකියාව ඇති බවයි. මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයින් අභිජනනය කර අපනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ලොව විශාල ඉල්ලූමක් ඇති ජලජ පැළෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුළ වගා කර නැවත අපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ සොයා බලන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මිරිදිය මත්ස්‍ය ප‍්‍රවර්ධනයට මත්ස්‍ය පැටව් 90,000ක් වැව්වලට මුදාහැරීමට ද සැලසුම් කර තිබෙනවා. අධිශීතකරණ සහ සනීපාරක්ෂක පහසුකම් සහිත බහුදින යාත‍්‍රා නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාව සහ ධීවරයන්ට වෘත්තීය පුහුණුවක් දීමේ අවශ්‍යතාව එහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙරට මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න ප‍්‍රවර්ධනයට හඳුනාගත් ස්ථාන 172 ක කෘත‍්‍රීම අභිජනන මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කර ඇති දුම්රිය මැදිරි, බස් රථ සහ ධීවර යාත‍්‍රා සාගර පතුළේ තැන්පත් කිරීමටත් එහිදී තීරණය කර තිබෙනවා.

ටින් මාළු නිෂ්පාදනයට අවශ්‍ය මත්ස්‍ය අවශ්‍යතාව දේශීයව සපුරාගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, මෙරට ධීවරයින්ට සහ ධීවර කර්මාන්තයට සහයවීමට අවශ්‍ය නැව් දේශීය ආයතන මගින් නිෂ්පාදනය කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළා.