Sunday, May 5, 2024

General line - 0115112241

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයන් ඇතුලු තවත් පාතාලයන් රැසක් අද පොලිස් මෙහෙයුම්වලින් අත්අඩංගුවට




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු හෙරොයින් සන්තකව සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කඩවත සහ රාගම යන ප‍්‍රදේශවලදීයි. මෙම සැකකරුවන්, කෙසෙල්වත්තේ දිනුක නමැත්තා විසින් මෙහෙයවනු ලබන හෙරොයින් ජාවාරමේ නිතර වී සිටින බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. කඩවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලිග‍්‍රෑම් 100 ක් සහ යතුරුපැදියක් ද පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණා. 

රාගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 11 යි මිලිග‍්‍රෑම් 180 ක්, ජංගම දුරකථනයක්, හෙරොයින් බහාතිබූ ප්ලාස්ටික් පෙට්ටියක්, තරාදියක් සහ කඩුවක් ද සොයා ගැනුණු බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ.  

මේ අතර නීතිවිරෝධීව ගිනිඅවි සන්තකව සිටි පුද්ගලයින් දෙනෙකු ද ප‍්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හබරණ, හතරැුස් කොටුව, ගල්ඔය හංදිය ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ රුසියාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් ද සමගයි. 

ඊට අමතරව බෝර 12 ගිනිඅවි සඳහා භාවිත කරන ජීව උන්ඩ 03 ක් සහ යුධ හමුදා නිල ඇඳුම් කට්ටලයක කොටස්ද සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන තිබුණා. 

මේ අතර බුත්තල, කොස්ලන්ද, උල්කන්ද ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සන්තකව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. හම්බන්තොට, හැඩිල්ල, මල්ආර ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ද, නීතිවිරෝධී ලෙස මෙරට නිෂ්පාදිත කොටන තුවක්කු 02 ක් සන්තකව සිටි පුද්ගලයින් දෙදෙනකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉන් එක් සැකකරුවෙකු සන්තකයේ තිබී බයිසිකල් බෝල 125 ක්, විවිධ වර්ගයේ ඊයම් කැබලි 45 ක්, හක්කාපටස් සෑදීමට යොදා ගන්නා චීන පටස් 89 ක් සහ වෙඩි බෙහෙත් කුඩු ද සිය භාරයට ගැනුණු බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. 

මේ අතර තිස්සමහාරාම, විජිතපුර, දෙඹරවැව ප‍්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සන්තකව සිටි පුද්ගලයෙකු ද පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම බලකාය විසින් දැරණියගල ප‍්‍රදේශයේදී ද, සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී චීනයේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක්, එම පතරොම් 06 ක් සහ නැවත පිරවීම සඳහා සකස් කරමින් තිබූ බෝර 12 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කෙරෙන හිස් පතරොම් කොපු 42 ක් සොයා ගෙන තිබෙනවා.