Saturday, May 4, 2024

General line - 0115112241

අංක තහඩු නැති සුපිරි රථයකින් ගමන් කරමින් සිටි මත් ජාවාරම්වකරුවෙකුගේ පුත්‍රයෙක් අත්අඩංගුවට




මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් යටතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකුගේ තවත් සමීපතමයින් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බවයි පොලීසිය පැවසුවේ. හෙරොයින් සන්තකව සිටි එම සැකකරු මාලිගාවත්ත ප‍්‍රදේශයේදී මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් ෆාරුස් හෙවත් ෆායිස් පිච්චේ නමැත්තෙක් බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටින කුඩු රුවන් නමැත්තාගේ පුත‍්‍රයෙකු ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අංක තහඩු නොමැතිව ධාවනය කළ සුඛෝපභෝගී ජීප්රථයක් ද සමගින් දෙමටගොඩ ප‍්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් සිව්දෙනෙකු බම්බලපිටිය සහ මීගමුව යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය ප‍්‍රදේශයේදීයි. 

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 489 යි මිලිග‍්‍රෑම් 947 ක් සොයා ගැනුණු බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ. මීගමුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 27 ක් සොයා ගෙන තිබෙනවා.

මේ අතර ඊයේ (30) උදෑසන 06.00 සිට අද (31) අලූයම  05.00 දක්වා බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බව ද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.