Sunday, May 5, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙත්සම්වලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

අධිකරණ වාර්තාකරු




පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේඛම්වරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් නොවැම්බර් මස 10, සහ 11 යන දිනවල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළා.   

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කොමිෂන් සභාවේ අනාවරණය වී ඇති සාක්ෂි ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පෙත්සම් විභාගයට සම්බන්ධ කර ගන්නා ලෙසට අද පෙත්සම්කරුවන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝෂම් ගොනු කරන ලදී.

එම මෝෂම් හෙට (03) දින සලකා බැලීමට නියමිතයි.

මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති හිටපු ජනාධිපති ලේකම් සහ හිටපු අගමැති ඇතුළු වග උත්තරකාර පාර්ශවයන් කිහිපයක් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව අද දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වග උත්තරකාර පාර්ශ්වයන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙ ස්ථාවරය සැප්තැම්බර් මස 4 වන දින දැනුම් දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම් වලට  එරෙහිව විරෝධතා සැප්තැම්බර්  මස 25 වැනිදා වන විට ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය වග උත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කළ අතර ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් මස 9 වැනිදා ගොනු කිරීමට පෙත්සම්කරුවන්ට නියෝග කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියේ සදහන් මූලික අයිතිවාසිකම් බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීරණය කළා. 

මෙම පෙත්සම් අද දින අග විනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවන ලදි.