Wednesday, May 8, 2024

General line - 0115112241

පල්ලේකැලේ භූ චලනයන්ට හේතුවන කරුණු දෙකක් ගැන අවධානයෙන් : වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හටගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් ඒ අතර 




පල්ලේකැලේ ආශ්‍රිතව සිදුවු භූ කම්පන තත්ත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇති වු ඒවා නොවන බව භූ කම්පනමාන දත්තවලින් තහවුරු වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. අදාළ කම්පන ඇති වීමට හේතු වශයෙන් වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හට ගැනීමට ඉඩ කඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් තුළ බිඳ වැටීමක් යන අංශ පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඉකුත් අගෝස්තු මස 29 වෙනිදා සහ අද දිනයේ පෙරවරු 7.06 ට භූ චලන තත්ත්වයක් වාර්තා වුණා. එම භූ චලන තත්ත්වයන් පල්ලේකැලේ පිහිටි භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්ත්වයක් ලෙස සටහන් වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. ඊට අමතරව එම කම්පන මහකනදරාව භූ කම්පන මධ්‍යස්ථානයේ ද ඉතා සියුම් ලෙස සටහන් වී ඇතැයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

පසුගිය අගෝස්තු 29 වන දින ඇති වු කම්පනය ගුරුදෙනිය, හාරගම, අනුරගම හා මයිලපිටිය යන ප්‍රදේශවල ජනතාවට දැනී ඇති අතර අද ඇති වු සුළු කම්පන තත්ත්වය අඹකොටේ සහ අළුත්වත්ත යන ප්‍රදේශවලට තරමක් දුරට දැනී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥයින් හා භූ කම්පන විද්‍යාඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 2ක් ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.