Saturday, April 27, 2024

General line - 0115112241

කෝවිඞ් වසංගතයෙන් මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක වටිනාකම සනාථ කළ බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්




කෝවිඞ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඞ් 19 වසංගතය හමුවේ ශ‍්‍රී ලංකාව දැක්වූ ප‍්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. 

ශ‍්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප‍්‍රයෝජනයට ගත හැකි රෝහල් ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතිනවා. ඇතැම් කාර්යයන් විෂයයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වාගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත්, අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත‍්‍රයක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. 

කැලණිය බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී අද ආරම්භ වූ ”යහපත් සීමාවාසිකයා” දෙදින වැඩමුළුවේ ආරාධිත දේශනය පවත්වමිනුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ එම වැඩමුළුවට සීමාවාසික පුහුණුවට තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680ක් සහභාගී වනවා. අද ආරම්භ වූයේ එම වැඩසටහන් මාලාවේ 08 වැන්නයි. එහිදී සියයකට අධික මහාචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරු දේශන පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොවිඞ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට දායක වූ සියලූම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කෘතඥතාව සහ උපහාරය ද එහිදී පුද කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.