Saturday, May 4, 2024

General line - 0115112241

රටටම කුඩු බෙදූ මහාපරිමාණ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට




හෙරොයින් කිලෝ 15 යි ග‍්‍රෑම් 997 ක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

දංකොටුව කිරිමැටියාන ප‍්‍රදේශයේදී හෙරොයින් ග‍්‍රෑම් 360 ක් සමග ඊයේ රාති‍්‍රයේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් අනාවරණ කරගත් තොරතුරු අනුව යතුරුපැදියකින් හෙරොයින් කිලෝ 02 යි ග‍්‍රෑම් 232 ක් ප‍්‍රවාහනය කළ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

අදාළ සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් තොරතුරු අනුව කිරිමැටියාන ප‍්‍රදේශයේ නිවෙසක් තුළ සඟවා තිබූ හෙරොයින් කිලෝ 13 යි ග‍්‍රෑම් 405 ක් සමග තවත් පුද්ගලයෙකු සහ ඔහුට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් කිරිමැටියාන සහ කොස්වත්ත යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. 

වැඩිදුර විමර්ශන සඳහා එම සැකකරුවන් කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

මේ අතර, හෙරොයින් ග‍්‍රෑම් 504 යි මිලිග‍්‍රෑම් 250 ක් ත‍්‍රීරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැළණිය වනවාසල දුම්රියපළ අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි. 

සැකකරුවන් සතුව තිබූ රුපියල් දෙලක්ෂ 89,000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරැුල්ල සහ මාළිගාවත්ත ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි පෑලියගොඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

හෙරොයින් ග‍්‍රෑම් 300ක් ත‍්‍රීරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි තවත් සැකකරුවෙකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප‍්‍රදේශයේදීයි. එම සැකකරු, මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයට මත්ද්‍රව්‍ය සපයන ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මේ අතර, බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ආමි සමන්තගේ බිරිඳ හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 540 ක් සමග දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, දිවුලපිටිය කෙහෙල්ඇල්ල ප‍්‍රදේශයේදීයි. ඊසිකෑෂ් ක‍්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වී සිටි එම කාන්තාව සතුව තිබූ රුපියල් ලක්ෂ 24 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පානදුර හොරෙයිතුඩුව ප‍්‍රදේශයේදී කේරළ ගංජා ග‍්‍රෑම් 600 ක් වෑන් රථයකින් ප‍්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකෙු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවා.

මේ අතර, අද උදෑසන 05 න් අවසන් වූ ගත වූ පැය 23 ක කාලය තුළදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 404 දෙනෙකු බස්නාහිර පළාතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් කි‍්‍රයාත්මක විශේෂ වැටලීම්වලදීයි. 

අදාළ වැටලීම්වලදී හෙරොයින් සමග සැකකරුවන් 183 දෙනෙකු සහ ගංජා සමග සැකකරුවන් 95 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතීවිරෝධී මත්පැන් බෝතල් 377 ක් සමග සැකකරුවන් 83 දෙනෙකු ද එම වැටලීම්වලදී අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.