Wednesday, May 15, 2024

General line - 0115112241

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන අවසන් තීන්දුව අද ජනපති සමග සාකච්ජාවෙන් පසුව 




ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ජාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. පෙරවරු 11ට ජනාධිපති කාර්යලයේදී කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ සහභාගිත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ. 

මෙම තරගාවලිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් සහ ක‍්‍රිකට් බලධාරීන් අතර ඊයේ තවත් සාකච්ජාවක් පැවැත්වුණා. ඊට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව සිටියා. මෙම තරගාවලිය පැවැත්විය යුතු බවත් එය සිදු කළ යුත්තේ සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව බවටයි සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.
 
මේ අතර පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සියලූ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පමණක් පැවැත්වීමටද තරග සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.  ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සියලූ තරග පල්ලේකැලේ සහ හම්බන්තොටදී පැවැත්වීමට දැනට සැලසුම් කර ඇත්තේ.
 
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ නිලධාරින් අතර අද පැවැත්වෙන සාකච්ජාවෙන් පසු ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇති.