Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ්හි පැතිර යන හඳුනා නොගත් රෝගය වැළඳුණු පිරිස 450 ක් දක්වා ඉහළට




ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ එලූරු නගරයේ පැතිර යන හඳුනා නොගත් රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කළ පුද්ගලයින් ගණන 450 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදාළ රෝගී තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

ඔක්කාරය, හිසරදය, සිහිසුන් වීම වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කර ඇති 450 දෙනා අතරින් 300 ක් පමණ කුඩා ළමුන් වන බව ද වාර්තා වනවා. අදාළ රෝගීන් සියළුදෙනා පී සී ආර් පරීක්ෂණ සඳහා ද යොමු කර ඇති අතර ඔවුන් කොරෝනා ආසාදිතයින් නොවන බවයි එහිදී අනාවරණ වී ඇත්තේ. 

මෙය කිසියම් වසංගත රෝගයක් ද යන්න සොයා බැලීම සඳහා මේ වනවිට ඉන්දීය සෞඛ්‍ය අංශ මගින් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂඥයින් තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පත්කර ඇති බවයි වාර්තා වන්නේ. 

රෝගීන් වාර්තා වන ප‍්‍රදේශවල ජල සාම්පල පරීක්ෂාවට ලක් කර ඇති නමුත්, ඒවායේ ද කිසිදු විෂ ද්‍රව්‍යයක් ඇතුළත්ව නොමැති බව අනාවරණ වී තිබෙනවා. නාගරික ජල සැපයුම් මාර්ගවලින් ජලය ලබා නොගන්නා පුද්ගලයින්ට පවා මෙම රෝගී තත්ත්වය වැළ`දී ඇති බැවින්, එය ජලය මගින් ඇති වන රෝගී තත්ත්වයක් ලෙසට ද අනුමාන කළ නොහැකි බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.