Wednesday, May 8, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු පොකුරක් ? මුළු පාර්ලිමේන්තුවටම කොරෝනා පරීක්ෂණයක්




කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පැමිණීමත් සමග පාර්ලිමේන්තු පරිශ‍්‍රය පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ ඊයේ පස්වරුවේ සිට එම කටයුතු ආරම්භ කළ බවයි. 
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ පෙරවරුවේ අනාවරණ වුණා.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වුණේ ඊයේ පස්වරුවේයි.

ඔහු ඉකුත් 08 වනදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සභානායක කාර්යය මණ්ඩලයේ කිහිපදෙනෙකු සමීපව ඇසුරු කර ඇති බව ද අනාවරණ වී තිබෙනවා. ඔවුන් ද ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාවුෆ් හකීම් හා අග‍්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන කුමාරසිරි හෙට්ටිගේ පාර්ලිමේන්තුවේ ගමන් කළ ස්ථාන මේවනවිටත් හඳුනාගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ. 

විෂබීජහරණය කිරීමේදී එම ස්ථානවලට ප‍්‍රමුඛතාව ලබාදී තිබෙනවා. ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් සමීපව ඇසුරු කළ ආශි‍්‍රතයින් මේවනවිටත් හඳුනාගෙන ඇති අතර ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් සමීපව ඇසුරු කළ මන්තී‍්‍රවරුන් 15 දෙනෙකු හා පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ කිහිපදෙනෙකු ද හඳුනා ගැනුණු අතර නිරෝධායනය වන ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ සියලූදෙනා ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කරන බවයි.

ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනු ඇති. මීලග පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට පෙර සියලූ මන්තී‍්‍රවරුන්ට ද ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරන බවයි පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියා සිටියේ. 

රාවුෆ් හකීම් මන්තී‍්‍රවරයාට පෙර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වුණා. කෙසේවෙතත්, ඔහු පාර්ලිමේන්තු සැසියට සහභාගී වී සිටියේ නැහැ.