Wednesday, May 8, 2024

General line - 0115112241

නව පාසැල් වාරය ඇරඹීමට සියලූ කටයුතු සූදානම්.




මෙම වසරේ පළමු පාසැල් වාරය අද ආරම්භ වනවා. එහෙත්, පාසැල් කිහිපයක දරුවන්ට එම අවස්ථාව අද දිනයේද හිමිවන්නේ නැහැ. ඒ, බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල පිහිටි පාසැල් දරුවන්ටයි.

එම පාසැල් අද විවෘත නොවන්නේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්. කෙසේවෙතත්, සෙසු ප‍්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසැල් විවෘත කිරීමට අද කටයුතු සූදානම් කර ඇත්තේ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද යටතේයි.

පාසැල් පැමිණීමේදී දරු දැරියන්, ගුරුවරුන් මෙන්ම මව්පියන් ද අනුගමනය කළ යුතු පිළිවෙත් අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර ප‍්‍රකාශයට පත් කළා. මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලූ පාර්ශව සහය ලබාදිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ. 

මීට පෙර පාසැල් විවෘත කළ අවස්ථාවේදි පාසැල් ළමුන් ප‍්‍රවාහනය සම්බන්ධයෙන් මතුවූයේ ගැටළුකාරී තත්ත්වයක්. ඒ, පොදු ප‍්‍රවාහනයේදී නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම හේතුවෙන්. මෙවර වැඩපිළිවෙළේදී ඒ සම්බන්ධයෙන් ප‍්‍රමුඛ අවදානයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

ඒ අනුව පාසැල් ළමුන් ප‍්‍රවාහනය කිරීමට ගෙන ඇති නව වැඩපිළිවෙළ කුමක්දැයි නෙත් නිවුස් ලංකා ගමනාගමන මණ්ඩලයෙන් විමසීමක් කළා.  එහි සභාපති කිංග්ස්ලි රණවක සඳහන් කළේ පැවැති ගැටළු මගහරවා ගනිමින් අද සිට නව වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලෙසට සියලූ බලධාරීන් දැනුවත් කර ඇති බවයි.  

දිවයින පුරා පිහිටි පාසැල් සංඛ්‍යාව 10,165 ක්. ඒ අතරට ජාතික පාසැල් 375 ක් අයත් වනවා. කෙසේවෙතත්, නැගෙනහිර පළාතේ පාසැල් 32 ක් හා දකුණු පළාතේ පාසැල් 06 ක් අද  විවෘත වන්නේ නැහැ.