Wednesday, May 8, 2024

General line - 0115112241

පාසැල් සිසුන් ප‍්‍රවාහනයට අලූත් වැඩපිළිවෙළක් සැකසේ




අද සිට ආරම්භ වූ නව පාසැල් වාරයේදී පාසැල් සිසුන් ප‍්‍රවාහනයේදී වැඩි අවදානයක් යොමු කරන බව ප‍්‍රවාහන බලධාරීන් සහ පොලීසිය පවසනවා. ඊට හේතුවී ඇත්තේ මීට පෙර පාසැල් විවෘත කළ අවස්ථාවේදී සිසුන් ප‍්‍රවාහනය කිරීමේදී ගැටළු රැසක් මතුවීම හේතුවෙන්. නෙත් නිවුස් ද අවස්ථා රැසකදී අනාවරණ කළේ පොදු ප‍්‍රවාහනයේදී නිසි ලෙස නිරෝධායන රීති අනුගමනය නොකිරීම හේතුවෙන් පාසැල් සිසුන් අවදානමකට ලක්වන බවයි. මෙම සියලූ කරුණු සැලකිල්ලට ගනිමින් පාසැල් සිසුන් ප‍්‍රවාහනයේදී විශේෂ වැඩපිළිවෙළක් අද සිට කි‍්‍රයාවට නංවන බවයි ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ. 

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සිසු සැරිය බස්රථ සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන මේවනවිටත් මහා භාණ්ඩාගාරයෙන් ලැබී ඇති බවයි. කිසියම් අධ්‍යාපන කලාපයකට සිසු ප‍්‍රවාහන බස්රථ සේවා ප‍්‍රමාණවත් නොවන්නේ නම්, අතිරේක බස්රථ ලබාගැනීමට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට බලය පවරා ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම බස්රථ සම්පූර්ණයෙන් වෙන් කෙරෙන්නේ සිසු දරුදැරියන්ට හා ගුරුවරුන්ට පමණක් බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම අවධාරණය කළේ. 

පාසැල් ළමුන් ප‍්‍රවාහන සේවා නිසි පරිදි කි‍්‍රයාත්මක වන්නේ දැයි සොයා පොලීසිය ද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එය අධීක්ෂණය කිරීමට ද පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

අධ්‍යාපනය මෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් ද මව්පියන් අවධානය යොමු කළ යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.