Sunday, April 28, 2024

General line - 0115112241

ඊයේ දිනයට පමණක් කොරෝනා මරණ හතරක් - මියගිය පුද්ගලයන්ගේ විස්තර හෙළිවේ




තවත් කොරෝනා මරණ 4 ක් ඊයේ දිනයේ වාර්තා වුණා. කොළඹ 13 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත්තේ අයි ඞී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හංවැල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද මියගිය පිරිස අතරට අයත්. කොවිඞ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් එම මරණ සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.

කොරෝනා ආසාදිත මාතලේ ප‍්‍රදේශයේ පදිංචි සිටි 84 හැවිරිදි කාන්තාවක් මියගොස්  ඇත්තේ තෙල්දෙණිය මූලික රෝහලේදීයි. එම මරණයට හේතුව ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ කොවිඞ් ආසාදනය හේතුවෙන් හෘදයට රුධිර සැපයුම අඩාලවීමයි.

වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රෝහලේදී මියගොස් තිබෙනවා. ආඝාතය සහ කොවිඞ් නියුමෝනියාව මරණයට හේතුව ලෙස දක්වා තිබුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 244 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී නව ආසාදිතයින් 584 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 49,537 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 42,621 ක් වනවා. ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 6,672 ක් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.