Sunday, May 5, 2024

General line - 0115112241

හිටපු ජනපති ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පාස්කු ප්‍රහාරයට අදාළ පෙත්සම් මාර්තු මාසයේදී විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි 

අධිකරණ වාර්තාකරු




පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් මාර්තු මස 8, 9, සහ 10 යන දින වල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.   

මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙසට නම් කර හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ හිටපු නාවික හමුදාපති පියල් ද සිල්වා වෙනුවෙන් මේ වන විට නීතිපතිවරයා පෙනී නොසිටින බැවින් අද ඔවුන් දෙදෙනා වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටින ලදී. 

ඒ අනුව මෙම පෙත්සම් වලට එරෙහිව විරෝධතා ගොනු කිරීමට අවසර ඉල්ලා සිටි අතර පෙබරවාරි මස 8 දාට පෙර විරෝධතා ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා. ඊට එරෙහිව ප්‍රතිවිරෝධතා පෙබරවාරි මස 15 ට පෙර ගොනු කරන ලෙසට පෙත්සම්කරුවන්ට නියෝග කරන ලදී.

මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති හිටපු ජනාධිපති සහ හිටපු අගමැති ඇතුළු වග උත්තරකාර පාර්ශවයන් කිහිපයක් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව මීට පෙර දැනුම් දී සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ සදහන් මූලික අයිතිවාසිකම් බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීරණය කළා.  

මෙම පෙත්සම් අද දින අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෲ , ප්‍රියන්ත ජයවර්ධන , එල්.ටි.බි. දෙහිදෙණිය , මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන  ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවන ලදී .