Saturday, May 4, 2024

General line - 0115112241

මියන්මාරයේ පාලනය තමන් යටතට ගත් බව එරට හමුදාව කියයි




මියන්මාරයේ පාලනය තමන් යටතට ගත් බව එරට හමුදාව පවසනවා. ඒ, මියන්මාරයේ පාලක පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ නායිකා අවුන් සාන් සුචී ඇතුලු පක්ෂයේ ජේ්‍යෂ්ඨ නායකයින් පිරිසක් හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බවයි එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේ. 

ඉකුත් මැතිවරණයෙන් පසු එරට ප්‍රජාතන්ත්‍රවාදී රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයක් උත්සන්න වුණා. ඉකුත් මැතිවරණයෙන් අවුන් සාන් සුචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් පාර්ලිමේන්තු බලයක් දිනා ගත්තා. ඒ, සියයට 83ක බහුතරයක් සමගයි.  

එහෙත් එරට හමුදාව දිගින් දිගටම චෝදනා කළේ පැවති මැතිවරණය වංචනික බවයි. අවුන් සාන් සුචී ඇතුලු පිරිස මෙලෙස අත්අඩංගුවට පත් වන්නේ මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතව තිබියදී විම විශේෂත්වයක්.

මියන්මාර හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ  එරට සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට බලය පවරන බවයි. මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා ද දැනටමත් අවහිර කර අවසන්. ඇතැම් දුරකතන සේවාවන්ගේද අවහිරතා පවතින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ප්‍රධාන නගර රැසක හමුදාව සීරුවෙන් තැබීමටද පියවර ගෙන තිබෙනවා.

2011 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට පැමිණෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේ, හමුදා පාලනයක්. වසර 25කට පසුව පලමුවරට 2015 වසරේදී එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පවත්වන අතර එහිදී ජය හිමිවන්නේ අවුන් සාන් සුචීගේ පක්ෂයටයි. ඒ අනුව යළි මියන්මාරය හමුදා පාලනයකට නතු වුයේ වසර 10කට පසුවයි.

මේ අතර 75 හැවිරදි වියේ පසුවන අවුන් සාන් සුචී යලි හමුදා අත්අඩංගුවට පත් වීම සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කතා බහක් ලක්ව තිබෙනවා. 1991 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ අවුන් සාන් සුචී සිය ජිවිත කාලයෙන් වසර 15ක් ගත කලේ හමුදා පාලනය යටතේ නිවාස අඩස්සියේයි. ඒ, 1989 වසරේ සිට 2010 දක්වායි.