Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා නිසා ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරයත් අවදානමක




ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ මුල් පෙළ පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

කොදෙව් තරග සංචාරය සදහා නම් කෙරුණු ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සදහා ඉකුත්දා  සිදු කළ පී සී ආර් පරීක්ෂණයේ දී ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

මෙම  තත්ත්වයත් සමග පුහුණු සංචිතයේ ක්‍රීඩකයින් සදහා අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයද කල් දැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ. අදාළ ක්‍රීඩකයින් 36 දෙනා ඉකුත් 28 වනදා සිට කණ්ඩායම් 3ක් වශයෙන් වෙන් වෙන්ව පුහුණුවීම් කටයුතු ආරම්භ කළා. කොදෙව් තරග සංචාරය ලබන 20 වනදා ආරම්භ කිරීමටයි දැනට සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ කොදෙව් තරග සංචාරය යළි සංශෝදිත කාලසටහනක් යටතේ පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට  අවධානය යොමුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරග 3ක්, පන්දුවාර විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.