Sunday, May 5, 2024

General line - 0115112241

මියන්මාර හමුදා පාලකයින් ජාත්‍යන්තරය සමගත් ගැටෙයි




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාර තානාපති කියෙව් මෝ ටුන් ඉවත් කිරීමට එරට හමුදා පාලකයින් කටයුතු කර තිබෙනවා. ඒ, මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී  සිදු කළ සංවේදී කථාවෙන් දිනකට පසුවයි.

සිය කතාවක දී කියෙව් මෝ ටුන් කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත් වූ රජයට බලය ආපසු ලබා දෙන තුරු කිසිවෙකු මියන්මාරයේ හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු නොකළ යුතු බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදාවට එරෙහිව ”පියවර ගැනීමට අවශ්‍ය  ඕනෑම ක‍්‍රමයක්” භාවිතා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී අදහස් දක්වමින් ඔහු ඉල්ලා සිටියා.

මිලිටරි කුමන්ත‍්‍රණය වහාම අවසන් කිරීමටත්, අහිංසක ජනතාවට හිංසා කිරීම නැවැත්වීමටත්, රාජ්‍ය බලය ජනතාව වෙත ආපසු ලබා දීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම සඳහාත් ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් තවත් ශක්තිමත් ක‍්‍රියාමාර්ගයක් මියන්මාරයට අවශ්‍ය බව කියෙව් මෝ ටුන් එහිදී ප‍්‍රකාශ කළා. 

කෙසේවෙතත් මියන්මාරයේ රාජ්‍ය රූපවාහිනිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාර තානාපති ඔහු ඉවත් කිරීම නිවේදනය කරමින් කියා සිටියේ, කියෙව් මෝ ටුන් රට පාවා දුන් බවයි. ඔහු රට නියෝජනය නොකරන නිල නොවන සංවිධානයක් වෙනුවෙන් කතා කළ බවත්, තානාපතිවරයෙකුගේ බලය සහ වගකීම් අනිසි ලෙස භාවිතා කළ බවත් මියන්මාරයේ රාජ්‍ය රූපවාහිනිය එහිදී අවධාරණය කළා.

ඉකුත් පෙබරවාරි 01වනදා එරට හමුදාව මියන්මාරයේ බලයට පත්වීමෙන් පසු අවුන් සාන් සූ කී ඇතුළු රජයේ ඉහළ පෙළේ නායකයින් නිවාස අඩස්සියේ රඳවා තැබුවා. ඒ හේතුවෙන් රට තුළ මතුවූ විරෝධතා මෙතෙක් අවසන් වී නැහැ. ආරක්ෂක හමුදා විසින් ඊයේ දිනයේ හමුදා පාලනයට විරෝධී විරෝධතාකරුවන් මර්දනය කිරීම තීව‍්‍ර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට ප‍්‍රාදේශීය මාධ්‍ය උපුටා දක්වන ප‍්‍රධාන පෙළේ විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ දිනයේද විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බවයි. මොන්වා නගරයේ දී කාන්තාවකට වෙඩි තබා ඇති බවත්  ඇගේ තත්වය පැහැදිලි නොමැත බවත් එම වාර්තානල සදහන්.