Monday, April 29, 2024

General line - 0115112241

මුතුරාජවෙළ තෙත් බිම් සම්බන්ධ මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව මාර්තු 24 ඉදිරිපත් කරන බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි 




මුතුරාජවෙළ තෙත් බිම් ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කරමින් ඇතැයි කියන පරිසර විනාශයට අදාළව මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව මාර්තු මස 24 වනදා ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. නීතිපතිවරයා මේ බව සදහන් කළේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම් අභියාචනාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීයි. 

මුතුරාජවෙළ තෙත් බිම් ආශිතව සිදු කෙරෙන නීතිවිරෝධී ගොඩ කිරීම් හා එම ප්‍රදේශයට කැළිකසළ බැහැර කිරීම අභියෝගයට ලක් කරමින් මෙම රිට් පෙත්සම් ගොනු කර තිබුණා. මෙම පෙත්සම අද කැදවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති  විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්න කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.

මුතුරාජවෙළ තෙත් බිම් කලාපය ගොඩ කිරීම සහ ඊට කැළිකසළ බැහැර කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් මෙහිදී ඉල්ලා සිටියා. මධ්‍යම පරිසර අධිකාරිය , පරිසර අමාත්‍ය. මහින්ද අමරවීර , වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක ඇතුළු 12 දෙනෙකු  මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.