Sunday, May 5, 2024

General line - 0115112241

"විසාලා මහනුවරක්" වූ ඉන්දියාව : මියගිය පුද්ගලයින් ගේ සිරුරූ ආදාහනය කරන්න ටෝකන් දෙයි (PHOTOS / VIDEO)




ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින දෙවන කොවිඩ් රැල්ල හේතුවෙන් එරට සෞඛ්‍ය කේෂ්ත්‍රයේ දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පළමු කොවිඩ් රැල්ලේ දී මුහුණ නොදුන් අයුරින් මේ වන විට ඉන්දියාව තුල ව්‍යාප්ත වන දෙවන කොවිඩ් රැල්ලේ දී තරුණයින් සහ ළමුන් වැඩි වශයෙන් ආසාදිතයින් ලෙස වාර්තා වෙමින් පවතින බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ වන විට ඉන්දියාවේ රෝහල්වල ඇඳන්, ඔක්සිජන් සහ වෙන්ටිලේටර් පහසුකම් වල දැඩි හිඟයක් පවතින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

වෛද්‍යවරුන් සඳහන් කරන්නේ අලුතින් වාර්තා වන B.1.617 ප්‍රභේදය මගින් කොවිඩ් ආසාදිත තරුණ ප්‍රජාවගේ පෙනහළු, හෘද වස්තුව සහ වකුගඩු ආශ්‍රිතව වෛරසයේ බලපෑමෙන් දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි.

ඉන්දියාවෙන් පළමු වරට හඳුනා ගනු ලැබූ ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදය තරුණ ප්‍රජාව තුල වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති අයුරු දක්නට ලැබෙන බවයි ඉන්දීය වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

මේ අතර පසුගිය අඟහරුවාදා දිනයේදී ඉන්දියාවෙන් නව කොව්ඩ් ආසාදිතයින් 259,170ක් සහ මරණ 1,761ක් වාර්තා වී ඇත.

මේ අතර ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි සුරාට්, රාජ්කොට්, ජම්නාගර් සහ අහමදාබාද් ප්‍රදේශවල ඇති ආදාහනාගාර පැය 24 පුරාවට ක්‍රියාත්මක වන තත්ත්වයට පත්ව ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. 

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ සිරුරූ ආදාහනය කිරිමට යොදා ගත් අහමදාබාද් හි පිහිටි ආදාහනාගාරයක චිමිනියක් අධික තාපය හේතුවෙන් කඩා වැටීමකට ලක්ව ඇත. ඒ සති දෙකක් පුරාවට දෛනිකව පැය 20 කට අධික කාලයක් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් ගේ සිරුරූ ආදාහනය කිරීම හේතුව බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

ඇතැම් ආදාහනාගාර වල දිනකට සිරුරූ 80 කට අධික සංඛ්‍යාවක් දෛනිකව ආදාහනය කරන බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

ඇතැම් ආදාහනාගාර විසින් කොවිඩ් සිරුරූ ආදාහනය කිරීම සඳහා වෙලාව වෙන් කරවා තැබීමට ටෝකන් පත් ලබාදීමට කටයුතු යොදා ඇත. 

එමෙන්ම ඇතැම් ආදාහනාගාර වල මළ සිරුරූ ආදාහනය කිරීමට තරම් දර නොමැති බැවින් මියගිය පුද්ගලයින්ගේ සිරුරූ ආදාහනය කිරිමට රැගෙන එන විට අවශ්‍ය දරද රැගෙන එන ලෙසට දැනුම් දීමට පියවර ගෙන ඇත.

මේ අතර වෛරසයේ දැඩි බලපෑම් එල්ලවී ඇති දිල්ලීයේ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ තත්ත්වය ඉක්මනින් පාලනය කර නොගතහොත් ඔක්සිජන් හිඟවීම නිසා රෝගීන් මාර්ගවල පවා මිය යෑමේ ප්‍රවණතාවයක් ඉදිරියේදී ඇති වනු ඇති බවයි.