Monday, April 29, 2024

General line - 0115112241

ඔක්සිජන් ටැංකිය කාන්දුවී ඉන්දියාවේ කොවිඩ් රෝගීන් 22ක් මියයයි : ගතවු පැය 24 තුළ නව ආසාදිතයින් ලක්ෂ 03 කට ආසන්න වෙයි




කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ රෝහලක සිදුවූ ඔක්සිජන් කාන්දුවකින් එහි ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නාසික් හි පිහිටි සාකිර් හුසේන් රෝහලේ ඔක්සිජන් ටැංකියේ ඇතිවූ කාන්දුවක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කොවිඩ් ආසාදිතයින්ට නිසි පරිදි ඔක්සිජන් සැපයුම ලබාදීමට නොහැකි වීමෙන් රෝගීන් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම රෝහලේ සිදුවීම වන අවස්ථාවේදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ආසාදිතයින් 150 දෙනෙකු පමණ වෙන්ටිලේටර් සහ ඔක්සිජන් ආධාරක මත සිට ඇති බවයි හෙළිවී ඇත්තේ.

ඔක්සිජන් ටැංකියේ කාන්දුවත් සමග රෝහල් භුමිය ධුමකින් වැසි ගොස් ඇති අතර ගිනි නිවීමේ ඒකකය ද එහි කැඳවීමට රෝහල් බලධාරීන් විසින් කටයුතු කර ඇත.

මේ අතර ගතවු පැය 24 ක කාලය තුලදී ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 294,290 දෙනෙකු සහ මරණ 2020ක් වාර්තා වී තිබෙනවා. එක් දිනක් තුල එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වනවා.

මේ අතර ප්‍රංශය විසින් ඉන්දියාවේ සිට පැමිණෙන සියලුම මගීන් සඳහා දින 10ක කාලයක්‌ නිරෝධායනය විය යුතු බවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර මෙම මස අවසානයේදී සැලසුම් කර තිබු ජපාන අග්‍රාමාත්‍ය යොශිඩ්ල් සුගා ගේ ඉන්දීය සංචාරය ද කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් කල් දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.