Monday, April 29, 2024

General line - 0115112241

දිවුලපිටිය සහ රාගම අවුරුදු උත්සව දෙකකින් කොවිඩ් ආසාදිතයින් 38ක් හමුවෙයි 

ටී.කේ.ජී.කපිල - කටුනායක




දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු අද දින සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න පවසනවා.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු ද රාගම, බටුවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු උත්සවයකින් තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු ද ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා දෙකකින් ද කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55ක සේවය කරන 1,219 දෙනෙකු මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දිනය තුලදී කොරෝනා ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 18,686 දෙනෙකු මෙම වෛරසයේ ආසාදිතයන් බවට පත් වී ඇතැයි වෛද්‍ය නලීන් ආරියරත්න සඳහන් කර සිටියි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, හොරගස්කැලේ ග්‍රාමයේ 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

එම ග්‍රාමයෙහි පළමු ආසාදිතයා වාර්තා වී ඇත්තේ පසුගිය 16 වැනිදා වන අතර පසුව ඔහුගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කළ PCR පරීක්ෂණ මගින් අනෙක් ආසාදිතයින් හමුවී තිබෙනවා.

මේ වනවිට එම ගම්මානයේ නිවාස 52ක ජීවත්වන පුද්ගලයින් 200කට අධික පිරිසක් නිරෝධායන කිරීමට පියවර ගෙන ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.