Monday, April 29, 2024

General line - 0115112241

පාස්කු වින්දිතයින් වෙනුවෙන් ආගමික නායකයින් පාරට බසී




පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් අනුස්මරණය කරමින් විශේෂ පා ගමනක් අද පැවැත්වුණා. ඒ, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලීය ක්‍රීඩාංගණයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වායි.මෙම පා ගමන සඳහා සර්ව ආගමික නායකයින් ද එක්ව සිටීම විශේෂත්වයක්.

මෙම පාගමන සඳහා එක්වූ සිටින පිරිස්, පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය තම සමීපතමයින්ගේ ජායාරූප අතැතිව ඊට එක්ව සිටියේ කඳුළු පිරී දෙනෙතින් යුක්තවයි. පා ගමන ආරම්භ කිරීමට පෙර ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් මීගමුව මාරිස්ටෙලා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී විශේෂ ආගමික වැඩසටහනක්ද පැවැත්වුණා. මේ ගාල්ල රදගුරු වසමේ රදගුරු රේමන් වික්‍රමසිංහ රදගුරුතුමන්.

එම අවස්ථාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද එක්ව සිටියා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ අනුස්මරණ වැඩසටහන අද පැවැත්වුණා. ඒ, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, ශ්‍රී ලංකාවේ වතිකානු තානාපතිවරයා ප්‍රමුඛ විදෙස් තානාපතිවරුන් ඇතුලු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුකරන තෙක් මේ වන විට දියත් කර ඇති විරෝධතා අඛණ්ඩව පවත්වන බවයි.

අද උදෑසන 8යි 45ට දේවස්ථානවල සීනු නාද කර ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවක් ද දිවයින පුරා පැවැත්වූණා. අනතුරුව මියගිය පිරිස සිහිපත් කර පහන් දැල්වීම ද සිදු කෙරුණා. 

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට සහන සැලසීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලෝක මුස්ලිම් ලීගයෙන් ලැබුණු රුපියල් බිලියනයක මුදලට සිදුවූයේ කුමක්දැයි සොයා බලන්නැයි ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජාතික විද්වත් සංඝ සභාව අද පැමිණිල්ලක් ගොනු කළා. පසුව අදහස් දැක්වූ එහි සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ, වින්දිතයින්ට සහන සැලසීමේ කටයුතුවලට අදාළ මුදල් යොදාගෙන නොමැති බවයි.