Sunday, May 19, 2024

General line - 0115112241

විවාහ මංගල උත්සව සහ අවමංගල්‍ය උත්සව සදහා සහභාගි කරවා ගත හැකි පිරිස සීමා කිරීමට අවධානය




නිරෝධායන රෙගුලාසි කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිත කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී එම ඉල්ලීම කරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ.  ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කාර්ය සාධක සමාලෝචන කමිටුව රැස්වුණා. කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් එහිදී වැදගත් තීරණ රැසකට එළඹුනු බවයි රාජ්‍ය අමාත්‍යවරිය නෙත් නිවුස් වෙත පැවසුවේ. 

මේ අතර විවාහ මංගල උත්සව සහ අවමංගල්‍ය උත්සව සදහා සහභාගි කරවා ගත හැකි පිරිස සීමා කිරීමට ද අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව විවාහ මංගල උත්සව හා අවමංගල උත්සව ඇතුළු සියලුම අවස්ථා සදහා මීට පෙර ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියාසිටියේ.