Monday, January 27, 2025

General line - 0115112241

විවාහ මංගල උත්සව සහ සාද නිවෙස්තුල නොපවත්වන්නැයි දැනුම් දීමක්




විවාහ මංගල උත්සව, සාද මෙන්ම විනෝදාස්වාදය ලබා දෙන කටයුතු නිවෙස් තුළ නොපවත්වන ලෙස කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට දැනුම් දෙනවා. විවාහ මංගල උත්සව පැවැත්වීම හෙට සිට සති දෙකක කාලයක් තහනම් කිරීම රජය පියවර ගැනීමත් සමග බොහෝ දෙනා නිවෙස් තුල විවාහ මංගල පැවැත්වීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 1,228 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

මේ අතර කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ සේවකයින් 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත රනසිංහ පැවසුවේ සේවකයින් 45කු සඳහා කළ පී සී ආර් පරීක්ෂණවලදී එම ආසාදිතයින් හදුනාගෙන ඇති බවයි. මේ හේතුවෙන් කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමටද කටයුතු කළ බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ. 

මේ අතර බලපිටිය මූලික රෝහලේ වෛද්‍ය හෙද සහ කනිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයින් 09 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ සමාජිකයින් 20 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ. 

මේ අතර නුවරඑලිය පොලිසියේ කාන්තා උප පොලිස් පරික්ෂකවරියකට සහ රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වි තිබෙනවා. මේ හේතුවෙන් නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශය තාවකාලිකව වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙලෙස කොරෝනා වෛරසය අසාදනය ඇත්තේ නුවරඑලිය වසන්ත උදානය සැණකෙලිය වෙනුවෙන් රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරින් පිරිසකටයි.