Monday, May 6, 2024

General line - 0115112241

තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කරයි : ඊයේ දිනයේදී කොවිඩ් මරණ 19ක් වාර්තා වෙයි




දිස්ත්‍රීක් 03කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් අද අළුයම 05 සිට හුදෙකලා කෙරුණා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ කෙරවලපිටිය, වත්තල, හේකිත්ත, පල්ලියවත්ත දකුණ යන ග්‍රාම නිලධාරීවසම් සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ ගල්උඩුපිට සහ මත්තුමගල යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාගොඩ දකුණ ග්‍රාම සේවා වසමේ විජිත මාවත සහ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ විද්‍යා සාගර ග්‍රාම සේවා වසමේ බෝ සිරිපුර කොටස සහ මහවස්කඩුව උතුර යන ග්‍රාම නිලධාරී වසම්ද අද අළුයම 05 සිට හුදෙකලා කෙරුණා. යාපනය දිස්ත්‍රික්කයේ කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ කොඩිකාමම් මධ්‍යම සහ කොඩිකාමම් උතුර යන ග්‍රාම සේවා වසම්ද අද අළුයම 05 සිට හුදෙකලා කර ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර තවත් ග්‍රාම නිලධාරී වසම් 08ක් අද අළුයම 05සිට හුදෙකලා කෙරුණා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ කොග්ගල 01, කොග්ගල 02, මීගහගොඩ, මාලියගොඩ සහ පියදිගම බටහිර යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කර ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. 

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය, මාම්පේ නැගෙනහර යන ග්‍රාම නිලධාරී වසම් සහ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසමද  අද අළුයම 05සිට හුදෙකලා කෙරුණා. 

මේ අතර මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 19ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 764 දක්වා ඉහල ගියා.

පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 764 දක්වා ඉහල ගියා. ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතර වැලිකඩ බන්ධනාගාරය තුළ මිය ගිය කාන්තාවක්ද වනවා. 68 හැවිරිදි එම කාන්තාවගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් 19 නිව්මෝනියාව, දියවැඩියාව, අධිරුධිර පීඩනය නිදන්ගත වකුගඩු රෝගය, හෘදයාබාද තත්ත්වය සහ ක්ෂය රෝගී තත්ත්වයයි. 

මේ අතර ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතර 45 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සූනන්දපුර, ඉලවාලෙයි, කෝංගහවෙල, රත්මලාන, දෙහිඅත්තකන්ඩිය, බදුල්ල, වාද්දූව, කොළඹ 03, රද්දොළුගම, පෝද්දල, අලපලාදෙනිය, අඟුලුගහ, නුවරඑළිය සහ අනුරාධපුර යන ප්‍රදේශවලින් ඊයේ වාර්තා වූ සෙසු කොරෝනා මරණ වාර්තා වී තිබෙනවා. 

ඊයේ දිනයේද මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,914 දෙනෙකු වාර්තා වූ බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.