Monday, April 29, 2024

General line - 0115112241

අද සිට සංචරණ තහනම් - අත්‍යවශ්‍ය සේවාවලටත් සීමා




අද හෙට සහ අනිද්දා යන දින 03 පුරා රටතුළ සියලු සංචරණයන් තහනම් වනවා. මෙම සංචරණ සීමා පැනවීම සිදුවූයේ ඊයේ රාත්‍රී 11 සිටයි. රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ජනතාවගේ සංචරණය උපරිමයෙන් සීමා කිරීම මෙහි අරමුණ වනවා. ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී ඇතුළු හදිසි තත්ත්වයකදී හැර වෙනත් කිසිඳු අවස්ථාවකදී කිසිඳු පුද්ගලයෙකුට නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ නැහැ. 

ඒ අනුව සියලු කඩසාප්පු ද මෙම දින 03 තුළ වසා දැමිය යුතුයි. කෙසේවෙතත්, ආහාර ද්‍රව්‍ය, පිසූ ආහාර හා ඖෂධ ඩිලිවරි ක්‍රමය ඔස්සේ ජනතාව වෙත ලබාදීමට අවසර ලබාදී තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථාන හා පෑලියගොඩ මත්ස්‍ය හා එලවළු වෙළඳසැල තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කිරීමටයි අවසර ලබාදී ඇත්තේ. 

කෙසේවෙතත්, සංචරණ සීමා පනවා තිබුණද, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇගලුම් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට අවසර ලබාදී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව ඇගළුම් නිෂ්පාදන, බෙදාහැරීම, ආනයනය සහ අපනයනය වැනි කාර්යයන් ජෛව ආරක්ෂණ බුබුළු ක්‍රමයට අනුගතව සිදුකළ හැකි බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ. 

මාර්ග සංවර්ධන කටයුතු සඳහා ද අද, හෙට සහ අනිද්දා දිනවල අවසර ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා. 

මෙම දින 03 හිදී අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන ජනතාවට සේවා සඳහා පැමිණීමට අවසර ඇතත්, ඔවුන් සේවයට කැඳවා ඇතැයි තහවුරු කළ හැකි ලේඛණයක් තමන් සතුව තබා ගැනීම අත්‍යවශ්‍ය බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. විදෙස්ගතවීමකදීද, මෙම තත්ත්වය එලෙසම ක්‍රියාත්මකයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මෙම සංචරණ සීමා ආරක්ෂා කිරීම සියලුදෙනාගේ වගකීම බවයි.  

සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස් නිලධාරීන් 20,000 ක් යොදවා තිබෙනවා. සංචරණ නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා සේම වාහන පොලිස් භාරයට ගැනීමටත් එවැනි ස්ථාන මුද්‍රා තැබීමටත් පියවර ගන්නා බවයි පොලීසිය අවධාරණය කළේ.