Monday, April 29, 2024

General line - 0115112241

එළවළු රැගෙන කොළඹ ආ වෙළෙඳුන් අසරණ වෙයි




රට පුරා සංචරණ සීමා පැනවීම ආරම්භ වී සුළු වේලාවක් යනවිටම ඉන් බලපෑමට ලක්වූ කණ්ඩායමක් පිළිබඳ නෙත් නිවුස් අපට අද අළුයම ම තොරතුරු ලැබුණා. ඔවුන් වන්නේ සිය අස්වනු රැගෙන පෑලියගොඩ මැනිං වෙළඳපලට පැමිණි ගොවීන් සහ ව්‍යාපාරිකයින්. 

සංචරණ සීමා පනවා තිබුණද, සිය අස්වනු අලෙවි කිරිමට රැගෙන යාමට ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට බාධාවක් නැහැ. එහෙත්, දැන් සිදුව ඇත්තේ රැගෙන ආ අස්වනු අලෙවි කර ගැනීමට පුද්ගලයින් නොමැතිවීමයි.

සංචරණ සීමා මැද සිදුකිරීමට අවසර දී ඇත්තේ ද, එළවළු, පළතුරු හා මාළු තොග වෙළඳාම පමණයි. එහෙත්, තොග වෙළඳාමට හෝ සිය අස්වනු මිලදී ගැනීමට මැනිං වෙළඳපලට අද අලුයම පැමිණි පිරිස ඉතා අවම වීම හේතුවෙන් ගොවීන්, අතරමැදියන් මෙන්ම ව්‍යාපාරිකයින් ද පත්වූයේ දැඩි අපහසුතාවකටයි. මේ, අද අලුයම පෑලියගොඩ මැනිං වෙළඳපලේ සිට නෙත් නිවුස් ඇමතූ එළවළු ව්‍යාපාරිකයෙක්. 

සංචරණ සීමා පැනවීමත් සමග තම අස්වනු අලෙවි කර ගත නොහැකිව ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ඊයේ දිනයේ ද ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. පුත්තලමේ හා කුරුණෑගල වට්ටක්කා ගොවීන් මෙන්ම කරුවල ගස්වැව සහ සූරියවැව යන ප්‍රදේශවල ගස්ලබු සහ කෙසෙල් ගොවීන් ද ඒ අතරින් ප්‍රමුඛයි. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ පැවසුවේ ගොවීන්ට ගැටළු මතුවුවහොත් කෘෂි නිෂ්පාදන කඩිනමින් මිලදී ගැනීම සඳහා දිසාපතිවරුන්ට තමන් උපදෙස් ලබාදුන් බවයි. ඒ අනුව නුවරඑළිය, අනුරාධපුර, මාතලේ, පුත්තලම, යන දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ට ඊට අදාළ උපදෙස් දී ඇති බවත්, වැලිසර හැර සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවත්, ඔහු පැවසුවා. අමාත්‍යවරයා සඳහන් කළේ කිසිඳු ගොවිමහතෙකු සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වෙතැයි අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.