Monday, April 29, 2024

General line - 0115112241

අධික වැසි සමග ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම ඉහළට




දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා මෙන්ම මා ඔය සහ අත්තනගලු ඔයේ ද ජල මට්ටම ඉහළ නගිමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

කැලණි ගඟේ දැරණියගල, හොලන්බුව, කිතුල්ගල, හංවැල්ල, ග්ලේන්කෝස් හා නාගලගම්වීදිය යන ජල මිනුම් ස්ථානවල ජල මට්ටම පවතින්නේ අවදානම් තත්ත්වයකයි. ඒ අතරින් හොලම්බුව හා දැරණියගල සුළු ගංවතුර අවදානමේ පවතිනවා. එමෙන්ම නාගලගම්වීදිය, හංවැල්ල, ග්ලේන්කොස් හා දැරණියගල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තfමේන්තුව පැවසුවේ. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්පේ, සීතාවක, කඩුවෙල, බියගම, කොලොන්නාව, වත්තල හා කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ. 

කළු ගඟේ ද මගුර හා මිල්ලකන්ද යන ජල මිනුම් ස්ථානවල ජල මට්ටම පවතින්නේ සුළු ගංවතුර මට්ටමකයි. මෙම ස්ථාන දෙකේ ද ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. 

ගිං ගඟේ තවලම ජල මිනුම් ස්ථාන අද අලුයම පැවතුනේ මහා ගංවතුර මට්ටමකයි. බද්දේගම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවලම ජල මට්ටම පහළ යමින් තිබුණද, බද්දේගම ජල මට්ටම ඇත්තේ වැඩි වෙමින්. තවදුරටත් වැඩි වෙමින් ඇති නිල්වලා ගගේ පනාදුගම ජල මට්ටම දැක්වුණේ සුළු ගංවතුර තත්ත්වයකයි. 

මා ඔයේ ගිරිඋල්ල ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ද අවදානම් තත්ත්වයකට ඉහළ නගිමින් තිබෙනවා. අත්තනගලු ඔය, දූනමලේ ප්‍රදේශයෙන් ඇත්තේ සුළු ගංවතුර අවදානමකයි. මෙම ස්ථාන දෙකේ ජල මට්ටම ද තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මේ හේතුවෙන් ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, ජා ඇළ, කටාන, මහර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ. 

පවතින අවදානම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මෙලෙස පැහැදිළි කළා. 

කැනියොන්, නෝර්ටන්බි්‍රජ්, උඩවලවේ සහ කුකුලේගඟ ජලාශවල වාන් දොරටු ද මේවනවිට විවෘත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

ඊයේ පස්වරුවේ සිට කොළඹ ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙමින් තිබෙනවා. ඒ, තද සුළං තත්ත්වයක් ද සමගයි. අරාබි මුහුද ආශ්‍රිත අඩු පීඩන කලාපයක බලපෑම මීට හේතුවයි.