Monday, April 29, 2024

General line - 0115112241

ගාසා තිරයේ විදෙස් මාධ්‍ය ආයතන පිහිටි ගොඩනැගිල්ලකට ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාරයක් : පැයකට පෙර ගොඩනැගිල්ලේ හිමිකරුට දුරකථන ඇමතුමක් දී අනතුරු අඟවලා (VIDEO / PHOTOS)




පලස්තීන ගාසා තිරයේ පිහිටි මහල් 13 කින් යුත් ගොඩනැගිල්ලක් ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයකින් විනාශ වී තිබෙනවා. එලෙස විනාශ වී ඇත්තේ අල්ජසීරා, ඇසෝසියෙටඩ් ප්‍රෙස් (AP) විදෙස් මාධ්‍ය ආයතන කාර්යාල පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

අද දහවල් ගොඩනැගිල්ලේ හිමිකරු වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඊශ්‍රායෙල් බුද්ධි  අංශ විසින් එම ගොඩනැගිල්ලට හානිවිය හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර තිබු බවයි වාර්තා වන්නේ.

06 වන දිනයටත් හමාස් සංවිධානය සහ ඊශ්‍රායාලය අතර දරුණු ගැටුම් ඇවිලෙමින් පවතිනවා.

මාධ්‍යවේදීන්ගේ සහ ස්වාධින මාධ්‍ය ආයතනවල ආරක්ෂාව තහවුරු කරන ලෙස ධවල මන්දිරය ද අද නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායාලයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර දෙපාර්ශවය අතර ඇතිවී තිබෙන ගැටුම් නතර කරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්නියාහු සමග පැවති දුරකථන සාකච්ජාවකදී දැනුම් දී තිබෙනවා.  

එසේ වුවත් හමාස් සංවිධානයෙන් එල්ල කරනු ලබන රොකට් ප්‍රහාර වලින් සිය රට මෙන්ම පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලයට පුර්ණ අයිතිවාසිකමක් ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

සෑම විටම ගැටුම් වලට සම්බන්ධ නැති පුද්ගලයින් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත්, ගුවන් ප්‍රහාර එල්ල කළ ගාසා තිරයේ  මාධ්‍ය ආයතන සහ නිවාස සංකීර්ණය පිහිටි ගොඩනැගිල්ලේ සිටි අනවශ්‍ය පුද්ගලයින්ට ඉන් ඉවත් වීමට කාල වේලාව ලබාදුන් බව ඊශ්‍රායෙල් අගමැතිවරයා විසින් අමෙරිකානු ජනාධිපතිවරයා ගේ පැනයට පිළිතුරු ලබාදී තිබෙනවා. 

මෙම ප්‍රහාරයෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය සඳහන් කළේ හමාස් සංවිධානයේ බුද්ධි අංශයට අයත් යුද සන්නිවේදන රඳවා තිබු උස් ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් සිය ප්‍රහාරක යානා විසින් ගුවන් ප්‍රහාරයක් දියත් කළ බවයි.

මේ අතර ඊශ්‍රායල් ප්‍රහාරක ගුවන් යානා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයක් ගාසා තීරයේ පිහිටි සරණාගත කඳවුරක ගොඩනැගිල්ලක් ඉලක්ක වීමෙන් එහි සිටි එකම පවුලේ සාමාජිකයින් 10 දෙනෙකු ජිවිහ්ක්ෂයට පත්ව තිබෙනවා.

මේ වන විට ගැටුම් වලින් ගාසා තිරයේ පුද්ගලයින් 139 දෙනෙකු මියගොස් ඇති අතර ඊට දරුවන් 39 දෙනෙකු සහ කාන්තාවන් 22 දෙනෙකුද අයත් වනවා.  හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාර වලින් ඊශ්‍රායල් වැසියන් 08 දෙනෙකු ද මියගොස් තිබෙනවා.