Thursday, May 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන එක්දින ක්‍රිකට් තරගය අද




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය මීර්පූර්හිදී අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 33 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට එකට බින්දුවක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා බංග්ලාදේශ කණ්ඩායම හමුවේ එක්දින තරගාවලියක් පරාජයට පත් වී නැහැ. මේ හේතුවෙන් ඉදිරි තරග දෙක ජය ගැනීම ශ්‍රී ලංකා පිලට තීරණාත්මක වී තිබෙනවා. අද තරගයේදී කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අවස්ථාවක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. 

අයි සී සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් සුදුසුකම් ලබන්නේ මෙම සුපර් ලීගයේදී දක්වන දක්ෂතා අනුවයි. අයි සී සී සුපර් ලීගය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගාවලිය මෙය වන අතර මීට පෙර කොදෙව් කණ්ඩායම පැවති තරගාවලිය ශ්‍රී ලංකාව 3ට බින්දුවක් ලෙස පරාජයට පත් වුණා.