Monday, December 2, 2024

General line - 0115112241

ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා ටෙස්ට් වාර්තාවත් අලුත් කරයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. 

ඊයේ තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 132ක් ලබා ගනිමින් ප්‍රබල තත්ත්වයක පසුවුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 42ක් පමණයි. 

එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි ඉතිහාසයට එක්වුණේ. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 281ක් ඉදිරියෙන් සිටියා. 

ඒ තවත් කඩුලු 07ක් අතැතිවයි. 

දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ටි්‍රස්ටන් ස්ටබ්ස් ලකුණු 17ක් සහ නායක ටෙම්බා බවුමා ලකුණු 24ක් රැස් කරගෙන සිටියා. 

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 48කට කඩුලු 02ක් දවා ගත්තා. 
 

ප්‍රභාත් ජයසූරිය මෙම තරඟයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලු 100 සම්පූර්ණ කිරීමට සමත් වූ අතර ඒ සඳහා ඔහු ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරඟ 17කට පමණයි. 

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් කඩුලු 100 වාර්තා කළ පන්දු යවන්නා ලෙසටයි ඔහු ඉතිහාසයට එක්වුණේ. 
 

එමෙන්ම ඔහු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 100 දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වීමටද සමත් වුණා. 
 

එංගලන්තය නියෝජනය කළ ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් ලෝමන් ටෙස්ට් තරඟ 16කදී කඩුලු 100ක් දවා ගනිමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 100 දවාගත් පන්දු යවන්නා ලෙස පළමු ස්ථානයේ රැඳී සිටිනවා.