Thursday, May 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය පළමුවරට එක්දින තරගාවලියක් ජය ගනී




ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට එක්දින තරගාවලි ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරගය ඩග්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු  103 කින් ජය ගනිමින්. 

කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48 යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 246 ක්. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ මුෂ්ෆිකර් රහීම් හතරේ පහර 10 ක් සමගින් රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 125 ක් රැස් කළා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සදකැන් කඩුලු 03 බැගින් දවා ගත්තා.

ලකුණු 247 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 09 ක් දැවී රැස් කළේ ලකුණු 149 ක් පමණයි. වර්ෂාවෙන් භාධා එල්ලවීමත් සමග තරගය නතර කිරීමට සිදුවූ අතර ඩග්වත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශ කණ්ඩායමට තරගයේ ජය හිමි වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 24 ක් සහ පැතුම් නිස්ස්ංක ලකුණු 20 ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසුකර යාමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර තරග 03 කින් සමන්විත එක්දින තරගාවලියේ ජයග්‍රහණයද බංග්ලාදේශ කණ්ඩායමට හිමිවුණා. මෙය බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව හිමිකරගත් පළමු එක්දින තරගාවලි ජය ලෙසයි ඉතිහාසයට එක් වුණේ.