Tuesday, May 14, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයේ යළිත් වෙනසක්




ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා එක්දින නායක කුසල් ජනිත් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව එළඹෙන එංගලන්ත සංචාරයේදී කුසල් ජනිත් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ලසිත් මාලිංග සීමිත පන්දුවාර ක්‍රිකට් සංචිතයට ඇතුළත් නොවීම හේතුවෙන් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය සදහා මීට පෙර යෝජනා වී තිබුණේ දසුන් ශානකයි. කෙසේවෙතත් කුසල් ජනිත් පෙරේරා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙක තුළ සිටීම හේතුවෙන් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් සදහා එක් නායකයෙකු පත් කිරීමටයි ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇත්තේ.

මේ අතර එංගලන්ත තරග සංචාරයට එක් වන ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇතැයි ද වාර්තා වනවා. එම තරග සංචාරයටද ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ සුරංග ලක්මාල් යන ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් නම් කර නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් නුවන් ප්‍රදීප් එම සංචිතයට කැඳවා ඇති බව ක්‍රිකට් ආරංචි පැවසුවා.

එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, චරිත් අසලංක සහ කසුන් රාජිත ද එංගලන්ත සංචාරය සදහා නම් කළ 28 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට ඇතුළත්ව සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත තරග සංචාරයේදී විස්සයි විස්ස තරග 3 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීමට නියමිතව තිබෙනවා.  

දෙරට අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජුනි මස 23 වනදා ආරම්භ වන්නේ කාඩිෆ්හිදීයි. එංගලන්ත තරග සංචාරයට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 15 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.