Sunday, May 5, 2024

General line - 0115112241

මියගිය කැස්බෑ, ඩොල්ෆින් සහ තල්මස් සිරුරූ ගොඩ ගසයි

ජවුෆර් ඛාන්




මියගිය කැස්බෑවන් තිදෙනෙකු සහ ඩොල්පින් මත්ස්‍යයෙකු මඩකළපුව කිරාන්කුලම් වෙරළට අද පෙරවරුවේ ගොඩගසා තිබෙනවා. අනතුරුව මෙම ස්ථානයට පැමිණි වන ජීවී දෙපාර්තමේන්තුවේ මඩකළපුව ප්‍රාදේශීය නිලධාරීවරයා මිය ගිය එම මුහුදු ජීවීන් අම්පාර වනජීවී සත්ව වෛද්‍ය අංශයට භාර දීමට කටයුතු කර තිබෙනවා. 

මේ අතර පිළිස්සුම් තුවාල සහිතව  මියගිය තල්මසෙකු මන්නාරම කරඩිකුලි වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා. මෙම තල්මසා අඩි 12 කට ආසන්න දිගකින් යුක්ත බවයි ධීවරයින් පැවසුවේ. මීට පෙරද මන්නාරම, සිලාවතුර, මුසලී, වංකාලෙයි, අරිප්පු වෙරළ තීරයන් වෙත මියගිය කැස්බෑවන් කිහිපදෙනෙකු ගොඩගසා තිබුණා.

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම් හේතුවෙන් මෙලෙස මුහුදු ජීවීන් මියයන්නට ඇති බවටයි සැලකෙන්නේ. මේ වන විට කැස්බෑවන්, තල්මසුන්, ඩොල්පින් මත්ස්‍යයින් ඇතුලු මුහුදු ජීවීන් 50 කට වැඩි සංඛ්‍යාවක් දිවයිනේ වෙරළ තීරයන් රැසකට ගොඩගසා තිබෙනවා.

කෙසේ වෙතත් එම මුහුදු ජීවීන්ගේ මරණවලට හේතුව කුමක්දැයි සෘජුව ප්‍රකාශ කිරීමට බලධාරීන් අසමත් වී ඇති බවයි පරිසරවේදීන් පවසන්නේ. මෙලෙස මිය ගිය මුහුදු ජීවීන්ගේ පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මෙලෙස අදහස් පළ කළා.