Thursday, May 16, 2024

General line - 0115112241

පිතිකරුවන් යළි අසාර්ථකයි - එංගලන්ත තරගාවලියත් පරදියි




එංගලන්තය සමග පැවැති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීත් 2 ට 0 ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද අලුයම සිදුවුණා. ඒ, පළමු තරගයේ මෙන්ම ඊයේ පැවති තරගයේදීද, පිතිකරුවන්ගේ වගකීම් විරහිත සහ අසාර්ථක පිතිහරඹය හේතුවෙන්. 

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී රැස්කළේ ලකුණු 111 ක් පමණයි. කුසල් මෙන්ඩිස් පන්දු 39 කදී ලකුණු 39 ක්ද, කුසල් ජනිත් පෙරේරා පන්දු 25 කදී ලකුණු 21 ක්ද, ඉසුරු උදාන පන්දු 14 කදී නොදැවී ලකුණු 19 ක් රැස්කළ ද සෙසු කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 8 සීමාව පසුකර යාමට හැකිවූයේ නැහැ. පන්දු යැවීමේදී මාර්ක් වුඩ් සහ ඇඩෙල් රෂීඩ් අතරේ කඩුළු 02 බැගින් බෙදී ගියා. 

පිතිකරුවන් දුර්වල වූ තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පළමු පන්දුවාර 7 තුළ සිය වගකීම ඉටු කරමින් ජයග්‍රහණය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත්වුණා. ඒ, පන්දුවාර 7 ක් තුළ එංගලන්ත ඉනිමේ කඩුළු 04 ක් ලකුණු 36 ක් තුළ බිඳ හෙලමින්. වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 18 කදී එංගලන්තයට හිමිවූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 103 ක්.

එය පන්දුවාර 16 යි එක් පන්දුවකදී කඩුළු 05 ක් පමණක් දැවී සපුරා ගැනීමට එංගලන්ත පිළි සමත්වුණා. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුළු 02 ක් බිඳ හෙලුවා.