Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාව තවත් කොවිඩ් රැල්ලක් අභියස - විශේෂඥයින් අනතුරු අඟවයි




ඉන්දියාවේ තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ඉන්දියානු වෛද්‍ය සංගමය අනතුරු අඟවා තිබෙනවා. රට පුරා සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ ජනප්‍රිය ගමනාන්ත සහ ආගමික ස්ථානවලට පැමිණෙන බොහෝ දෙනෙක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකිරීම මෙම තත්ත්වයට හේතු විය හැකි බවයි ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

විශාල වශයෙන් ජනතාව ගැවසෙන ස්ථානවල මුව ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් විශාල වශයෙන් දැකගත හැකි ඡායාරූප සහ වීඩියෝපටද ඉන්දීය මාධය මඟින් නිකුත් කර තිබෙනවා. පසුගිය මැයි මාසය වන විට කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමකට ලක්ව සිටි ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් හාර ලක්ෂය ද ඉක්මවා වාර්තා වුණා.

ඊයේ දිනයේදී එරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 30,827 දෙනෙකු පමණයි. ඉකුත් පැය 24 දී වාර්තා වි ඇති කොරෝනා මරණ සංඛ්‍යාවද 546 ක් දක්වා අඩු වි තිබෙනවා. කෙසේ වෙතත් රට අඟුලු දැමීම හේතුවෙන් කොරෝනා වෛරස ව්‍යාප්තිය යම් මට්ටමකින් පාළනය වුවද ජනතාවගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් රට යළි අවදානමකට ලක්විය හැකි බවයි ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ.