Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දුනීසියාව, ආසියාවේ කොරෝනා කේන්ද්‍රස්ථානය වෙයි




කොරෝනා වෛරසයේ ආසියානු කේන්ද්‍රස්ථානය බවට මේවනවිට ඉන්දුනීසියාව පත්ව තිබෙනවා. ඒ, දිනෙන් දින එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හමුවේයි. වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඉන්දුනීසියාවේ ජාවා දූපතයි. 

පවතින තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාවේ රෝහල් පද්ධතිය බිඳ වැටෙනු ඇති බවටයි මේවනවිටත් වෛද්‍යවරුන් අනතුරු අගවා ඇත්තේ. ආසාදිතයින් සඳහා රෝහල්වල ඉඩ පහසුකම් නොමැතිවීම හා ඔක්සිජින් හිගය හේතුවෙන් රෝගීන් බොහෝදෙනෙකු සංකූලතා සහිතව නිවෙස් තුළම රැඳී සිටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ඇතැම් රෝහල්වලින් රෝගීන් භාර නොගන්නා බවටයි වාර්තා වන්නේ. එහි ප්‍රතිපලයක් ලෙස කොරෝනා ආසාදිතයින් නිවෙස්තුලදීම මරණයට පත්වීම වැඩි වශයෙන් මේවනවිට ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා. 

එරට කොරෝනා මරණ භූමදානය බොහෝ වශයෙන් සිදුකෙරෙන්නේ ගිනිනිවන භටයින් විසින්. ඔවුන් පවසන්නේ අසල්වැසි නිවෙස් වලින් ලැබෙන දුරකථන ඇමතුම්වලට අනුව කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු සොයා ගන්නා බවයි. නිවෙස් නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් දක්නට නොලැබෙන බවට අසල්වැසි නිවෙස්වලින් ලැබෙන දුරකථන ඇමතුම් අනුව මියගිය පුද්ගලයින්ගේ සිරුරු සොයා ගන්නා බවයි එම ගිනිනිවන භටයින් පවසන්නේ. 

මේවනවිට ඉන්දුනීසියාව තුළ වේගයෙන් පැතිර යමින් ඇත්තේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයයි. පනවා තිබූ සංචරණ සීමාවන්ට අනුගත නොවෙමින් ජනතාව කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවට සෞඛ්‍ය අංශ චෝදනා නගනවා. 
මේ අතර ඊයේ දිනයේදී පමණක් ඉන්දුනීසියාවෙන් කොරෝනා ආසාදිතයින් 56,000 ක් වාර්තා වී තිබෙනවා. සිදුව ඇති කොරෝනා මරණ ගණන 982 ක්. එරටින් මේවනවිට වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව විසිහත් ලක්ෂ 26,000 ක්.