Friday, May 10, 2024

General line - 0115112241

මෙරට මානව හිමිකම් කඩ කිරීම් සිදුව ඇත්දැයි සෙවූ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට




මෙරට මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ ජනාධිපති  පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා. ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.

මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කළ කොමිශන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්ගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස පත් කෙරුණේ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනය නගර සභා සාමාජික යෝගේෂ්වරී පත්කුණරාජායි. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය යන මතවාදයට එකඟ නොවන කොමිශන් සභාව, බි්‍රතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බව සිය අතුරු වාර්තාව මගින් පෙන්වාදී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9,11 සහ 13 යන වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව 9 වන වගන්තිය මගින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේ දී අවම මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබාගන්නා පුද්ගලයන්ට අධි චෝදනා ගොණුකර නඩු අසා නිමකිරීම කමිටුවේ එක් යෝජනාවක්. 11 වන වගන්තිය යටතේ වූ රැඳවුම්කරුවන් බන්ධනාගාරය තුළ රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ ගම් ප්‍රදේශය තුළ රඳවා තබා ගැනීමට ඇති හැකියාවද කමිටුව විසින් පෙන්වා දී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත, සියලු ජාතීන් නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කමද කොමිසමේ අතුරු වාර්තාව මගින් යෝජනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.