Friday, May 10, 2024

General line - 0115112241

මාස 4 කින් රටම එන්නත් කිරීමට සැලසුම්




මෙරට එන්නත්කරණ වැඩසටහන ලබන නොවැම්බර් මාසය වනවිට සම්පූර්ණ කිරීමට හැකිවෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරනවා. ඒ, ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත එන්නත් මාත්‍රා සංඛ්‍යාව නියමිත පරිදි ලැබෙනු ඇතැයි පවතින විශ්වාසය මතයි. 
මෙරට වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් එක් කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න පිරිසකට එන්නත ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව ඔවුන්ට එන්නත් මාත්‍රා 02 ම ලබාදීම සඳහා එන්නත් මාත්‍රා තුන්කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය වනවා. මේ දක්වා එන්නත් මාත්‍රා එක් කෝටි විසිහය ලක්ෂයක් පමණ මෙරටට ලැබී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ අනුව තවත් එන්නත් මාත්‍රා කෝටි 02 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාගත යුතු වනවා. 

මේවනවිට ලොව පිළිගත් එන්නත් වර්ග 5 ක්ම මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කර තිබෙනවා. ඒ, ඇස්ට්‍රාසෙනිකා, සයිනොෆාම්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා වශයෙන්. රුසියාවේ යළිත් මතුව ඇති කොරෝනා අවදානම හේතුවෙන් එරටින් ලැබෙන ස්පුට්නික් එන්නත් මෙරටට ලැබීම තරමක් ප්‍රමාද වී තිබෙනවා.

කෙසේවෙතත්, ස්පුට්නික් එන්නත් ලබාගැනීම සඳහා මේවනවිටත් ඇනවුම් කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. දෙවන මාත්‍රාව ලබා දීමට හිග වී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් ද ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇති බවට ද විශ්වාසය පළ වනවා. 

මේවනවිටත් මෙරට ජනගහනයෙන් පුද්ගලයින් හැටපන් ලක්ෂ 42,000 කට අධික පිරිසකට කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව හෝ ලබාදී අවසන්. මාත්‍රා 02 ම සම්පූර්ණ කර ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව දාහත් ලක්ෂ 36,000කට අධික බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.