Monday, May 6, 2024

General line - 0115112241

ඩෙල්ටා ප්‍රභේදය සහිත පාසල් සිසුවෙකු පළමුවරට මෙරටින් හමුවෙයි




මෙරටින් පළමුවරට ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සහිත 11 හැවිරිදි පාසල් සිසුවෙකු බේරුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හදුනාගෙන  තිබෙනවා. මෙම පාසල් සිසුවා බේරුවල හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මේ වන විට ගාල්ල ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබන බවයි ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ජේ සිංහබාහු පැවසුවේ.

එම සිසුවාගේ ආශ්‍රීතයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ අතර අලුත්ගම කළුවමෝදර ප්‍රදේශයේ මංගල උත්සව ශාලා පරිශ්‍රයක සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී පුද්ගලයින් 47 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි ප්‍රදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ජේ සිංහබාහු පැවසුවේ.

එහිදි පුද්ගලයින් 143 දෙනෙකු ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. හදුනා ගැණුනු කොරෝනා ආසාදිතයික් කළුවාමෝදර මුල්ල පිටිය, හෙට්ටිමුල්ල සහ මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. 

මේ අතර ඩෙල්ටා ප්‍රභේදය සහිත කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හදුනාගැණුනු කැස්බෑව ජබුරලිය, ලුල්ලවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක් දින 10ක් කාලයක් තාවකාලිකව වසා දමන ලෙස කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය එහි පාලන අධිකාරියට දැනුම් දී තිබෙනවා. එම ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 06 දෙනෙකුට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී තිබුණා. 

එහි තවත් සේවක සේවිකාවන් 121 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සමන්තිකා විජේසිංහ සඳහන් කළේ. 

මේ අතර මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සහ ආසාදිතයින්ගෙන් බහුතරයක් කොරෝනා මර්දන එන්නත ලබා නොගත් පුද්ගලයින් බව අනාවරණ වි ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. මෙරටින් මේ දක්වා ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් 68 දෙනෙකු හදුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1,190 දෙනෙකු හදුනා ගැණුනා.